පලු ගස සහ වලසා.

පලු ගස: සිරි ලක වන්නාතර ගැනත් ඒවායේ ඇති පලු ගස් වැනි මහේෂාක්‍ය වෘක්ෂ ගැන ත් චුල්ල පදුම ජාතක කාව්‍යය හෙවත් සුළු පියුම් දා කව මෙහෙම කියනවා.

පලොල් බෙලි කීන දොඹ සපු මොර ලක ල
මිදෙල් සල් එ ලප් නාරං අඹ උදු ල
සුපුල් පලු මලින් සැදි නෙක ලෙස නිම ල
ලකල් යස දෙ තෙර සිටිනා තුරින ව ල

පලු ගහත් හරිම සුවිශේෂයි. පර්යේෂණ පට්ටමින් ඒ තරම් දුරට හදාරලා නැති උනත් පලු හැදෙන පලාත් වල පරිසර පද්ධතියේ ජල සංරක්ෂණයට අනික් ගස් වලට වඩා පලු ගස් දායක වෙනවා.

වලස්සු සහ මිනිස්සු: සතුන් අතර වලසා වෙනස් විදියේ සතෙක්. වලසුන් ගේ සමහර ක්‍රියාවන් මිනිසුන් වගේ දඩයම් කරනවා. මස් කනවා. වලස්සු සර්ව භක්ෂකයි. නියපොතු මදිනවා. පීනනවා. සෙල්ලම් කරනවා. ගස් නඟිනවා. කකුල් දෙකෙන් හිට ගන්නවා. වැහි දවසට නානවා. පුංචි පැටවු දෙන්න තුන්දෙනා පිටේ තියන් ඇවිදිනවා. පැටවුන්ට ආදරේ කරනවා. වෙලාවකට රෞද්‍ර විදියට අනික් කැලෑ සතුන්ගෙන් මිනිසුන් ගෙන් පැටවු, ගුහාව, වපසරිය රකිනවා. මුහුණට මුහුණ සටන් කරනවා. කැලෑ අවට ගම් වල ඉර අවුවේ වනපු රෙදි පිලි වගේ ආගන්තුක දේවල් එක්ක බොරුවට දබර කරනවා. තවත් කාරණයක්, කැලේ වලස් අඩි දැක්කම මේ මිනිස් අඩි සලකුණක් ද කියලා දෙගිඩියාවට පත්වෙන වෙලාවල් තියෙනවා; මොකද වලස් අඩියත් ටිකක් පාවහන් නැති මිනිස් අඩියක් වගේ.

වලස්සු මී වද කඩනවා. කැලේ ඈත තියෙන මීයක් ඉව කරගෙන හොයාගෙන ඇවිත් දිග නිය තියෙන අත ගස් බෙනේට දාලා වද කෑලි කඩලා හෙමීං සීරුවේ බිම තියනවා. ඊට පස්සේ වදය අරං දුවනවා. වලස්සු හැම මීයම කඩන්නෙත් නෑ. කැලේ මී කඩන මිනිස් උදවිය වගේමයි.

පලු ගහ ගැන කියද්දී වලහා අමතක නොකර බෑ. පලු වාරෙට වලස්සු පලු ගස් උඩමයි.

පලු ගහේ හීන් තද කොල පාට පත්‍ර අතර පුංචි කහ පැහැති සුවඳවත් පලු මල් පොකුරු යි මී මැස්සන් ගේ ගුමු ගුමුවයි අස්සේ ගහ උඩටම නැගපු වලහා ‘අතු කඩ කඩා’ අතු අග්ගිස්සේ තියෙන – පියකරු දීප්තිමත් කහපාට මටසිලුටු හීනි කුරුලු බිත්තර වගේ – සුමිහිරි පැණි රසක් තියෙන පලු කඩාගෙන කනවා. මිනිස්සු වගේමයි ‘අතු කඩ කඩා’ පලු කනවා.

සංරක්ෂණය: පලු ගස් රකින්ට, පලු ගස් වල තිරසාර පැවැත්මට වලස්සු අමිල මෙහෙයක් ඉටු කරනවා. ඒ තමා පලු අතු කැඩීම. ස්වාභාවික ව කප්පාදු කිරීමේ ක්‍රමයක් (pruning). අතු අග්ගිස්ස කැඩුනාම පලු ගස් වල අළුත් රිකිලි දානවා. මිනිස්සු වලස්සු දිහා බලං ඉඳලා මී කැඩුවා වගේම අතු රිකිලි කඩ කඩා පලු ත් කැඩුවා. රිටිගල කලු එබේ වගේ ගම් තුලානක සොයා බැලූ විට පාරම්පරික ව පලු කඩපු ආකාරය දැනගන්ට පුලුවන්.

ශ්‍රී ලංකාවට ආනයනය කල සමහර සංරක්ෂණ ප්‍රතිපත්ති වලින් මිනිස්සු පලු කඩන එක අඩු උනා. ඇත්තටම අඩු කරා.

වලහයි මිනිහයි දෙන්නම පලු කැඩුවා. පලු කඩන ගමං අතු රිකිලිත් කැඩුවා. පෝයෙන් පෝය ගෙවිලා ඊලඟ බක් මහ වෙද්දී පලු ගහ අතු රිකිලි දාලා ආව. ඒ අතු අග්ගිස්සේ මල් කිනිති හැදුනා. මීමැස්සෝ රොන් ගත්තා. වලස්සු මිනිස්සුන්ට උදවු කරා – මිනිස්සු වලහට උදවු කරා දෙගොල්ලොම මී මැස්සන්ට උදවු කරා. වලහයි මිනිහයි දෙන්නම පලු කෑවා – මී කඩං කෑවා.

පරිසර ගැටලු: අද වලස්සු අඩුවෙලා. පලු ත් අඩුවෙලා. මිනිස්සු ඉස්සර තරං පලු කන්නේත් නෑ පලු ගැන දන්නේත් නෑ. මැස්සන්ට රොන් ගන්ට පලු මල් හට ගන්නෑ. මී බඳින්නෙත් අඩුවෙන්. පලු මල් නැති වෙසක් මහේ බැඳපු මී වදේ රහ බාලයි.

දැං පලු අතු කැඩෙන්නේ නෑ. පලු ලියලන්නෑ – අලුත් අතු රිකිලි හට ගන් නෑ. පලු ගහට මිලක් නියම කරලා නිසා පලු ගස් ජාවාරමත් ජයටම වෙනවා. අවාසනාවකට ආනයනය කල පරිසර නීතියට පරිසර දැනුම ට මේ දේවල් අහුවෙන්නේ නෑ.

ගැටලු වලට හේතූන්: විවිධ ජන ප්‍රජාවන් සහ සංස්කෘතීන් ඔවුනොවුන් ජීවත්වන පරිසරය අනුව, සංස්කෘතික වගේම ජීවන ඉලක්ක අනුව, මිනිසා ගස් කොලං සහ සතුන් ගැන දරන ආකල්ප – දැනුම් පද්ධති – මති මතාන්තර අනුව පරිසරය සමඟ ඇති සම්බන්ධය මෙන්ම පරිසරය සමඟ ගණු දෙණු කරන ආකාරය වෙනස්.

පරිසරය එක්ක කරන ඒ ගණු දෙණු සීත රටවල ඉඳන් අරාබි කරයටත්, පැපුවා නිවු ගිනියාවේ ඉඳන් අප්‍රිකානු ගිනියාවටත් හරිම විවිධාකාරයි. ඒ විතරක් නෙවෙයි බොලීවියානු ඇමසෝන් මිනිස්සු අතරත් බ්‍රසීල ඇමසෝන් මිනිස්සු අතරත් පරිසරය එක්ක තියෙන සබැඳියාවන් වෙනස්.

සත්ව අවිහිංසාව උදෙසා සමහර ප්‍රජාවන් ජලය උණු කර පානය, කිරීම එලිමහනේ ඇවිදීම ප්‍රතික්ෂේප කරන විට ඒ ආසන්නයේම සමහර ප්‍රජාවන් සැප සම්පත් උදෙසා බිලි පූජා තිබ්බා. සමහර සංස්කෘතින් සියලු සත්ව පුද්ගල භාවයන්ගෙන් මිදෙන හැටි කතා කරද්දී තවත් සංස්කෘති පරිසරය ට මුදලක් මිලක් නියම කරන හැටි ලංසුවක් තියන හැටි බැලුවා.

විසඳුම් තියෙනවාද: මේ විවිධ දේශ සීමා ප්‍රජා සංස්කෘති වලට වඩා ශ්‍රී ලංකාව වෙනස්. අපේ පරිසරය, සමාජය, දේශීය දැනුම් පද්ධති එක්ක අතිපිහිත වෙන සංස්කෘතික අනන්‍යතා ලෝකේ බොහෝ තැන් වලට වඩා වෙනස්.

ඒ නිසා ලෝක යේ එක තැනක අත්හදා බලපු පරිසර ප්‍රතිපත්ති, නීති රීති අපේ රටට ප්‍රායෝගිකව යොදා ගැනීමට අපහසුයි. අලි මිනිස් ගැටුම් තියා දඬු ලේන්, රිලා උවදුරක් වත් අපිට පාලනය කරන්ට බැරි වීමට මූලිකම හේතුව ඒකයි. අධ්‍යාපන ක්‍රමයේ ඇති අඩුපාඩු නිසා දැන් අපි පරිසරය දකින්නෙත් වෙනස් ඇස් වලින්. වෙනස් කෝණයකින්. අපිට සංරක්ෂණය (conservation), ජීවිකාව (livelihood) කියන දෙකෙන් එකක්වත් හරියට කරගන්ට බැරි වෙලා ඉන්නේ අන්න ඒ හින්දා.

වසර සියයකට මෙහා මහාද්වීපික රටවල් වල නිර්මාණය කරපු පරිසර නීති ප්‍රතිපත්ති විවිධාකරයේ ශාක සත්ව මෙන්ම මිනිස් ප්‍රජාවන් ගණනාවක් ජීවත්වෙන මෝසම් වැසි වැටෙන ඝර්ම කලාපීය කුඩා දූපතකට නොගැලපෙන බව වටහාගැනීම ම මහත් විසඳුමක් වේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *