වැවෙ ක අංගෝපාංග

කෝණ නැකතෙන් පුර පෝය නගින වංගියේ පුරාණ චාරිත්තරකාරයට අගස්බත් පූජාව කොරන්ට පංගු පේරුවට අඩුම කුඩුම කලප්පන්න ගං ගෙවල් වලින් සිරිත් සම්මතකාරයෙන් ඔප්පු කොරන්ට මේ කන්නේ වැස්සවළාහක වැහි නැකතෙන් වළාකුළු රාහි වන නැකතෙන් අරියාදුවක් ආදා බාදා වක් නැතුව වැහි පල දෙන්ට ඕන අපෙ වැවේ බණ්ඩාර මුත්තේ


 

වැවෙ ත් වැව ට සම්බන්ධ මිහිකත නැත්නම් වැව් පරිසර පද්ධතියේ කොටස් සුරැකිව ඇති කුඩා වැවක්

වැව් කන්ද / වෑ කන්ද / වැව් බැම්ම / වෑ කණ්ඩිය

ජලය වැව තුල රඳවාගන්නේ වැව් බැම්ම මඟිනි. වැව් බැම්ම ජලය රඳවා ගැනීමට තරම් ශක්තිමත් විය යුතුය. වැව් බැම්ම ස්ථානගත කිරීම බැම්මේ උස සහ ඇතුළත  සහ පිටත ආනතිය වැනි කාරණා නීර්ණය කිරීම මඟින් එකිනෙකට වෙනස් ප්‍රමාණයේ ජල ධාරිතාවක් සහිත වැව් නිර්මාණය කර ඇත.

සුදුසු හෝ නුසුදුසු උවද, වර්තමානයේ විශාල වැවක් අසලින් ම වාහන ගමන් කරන්නේ නම්, අවාසනාවකට, ඒ ගමන් කරන්නේ බොහෝ දුරට වැව් බැම්ම මතිනි.

ඉස් බැමි | ඉස් වැටි | පෝටා වැටි
පස් වලින් තැනූ කුඩා බැමි ය. වැව ඉස්මත්තේ ජලය පිරෙන මායිම දක්වා කලාපයේ පිහිටා ඇත. සෑම වැව කම දැකිය නොහැක. කඳු ආශ්‍රිතව ඇති බෑවුම අධික ඉහත්තා වේ ඉස් බැමි තනයි. ඉස් බැමි වැව ට එන වැලි රොඩු සහ මඩ වලින් වැව ගොඩ වීම වලක්වයි.

ඉහත්තාව | වැව් ඉහත්තාව | වැව් ඉස්මත්ත |වෑ බඳ 

වැවේ පෝෂක කලාපය යි. මෙය පිහිටන්නේ වැව් තාවුල්ලට ඉහලින් ය. වැව් ඉහත්තාවේ ගොවිතැන් කිරීම   නිවාස තැනීම ගස් කොලන් වලට හානි පැමිණවීම හෝ සතුන් දඩයම් කිරීම ආදි සියලු ක්‍රියා තහනම් ය. තහංචි ය!

වැව් ඉස්මත්ත වැවේ ජල ධාරිතාවය ට බලපායි. එනිසා වැව් ඉහත්තාව ආරක්ෂා කිරීම අතිශය වැදගත් වේ. වැව් ඉහත්තාවේ දිය උල්පත් රැකීමට සහ දිය සීරාව රැක ගැනීමට කුඹුක් සහ වීර ගස් සිටුවීම කළ යුතුය.

තාවුල්ල | තාවල්ල

වැව් ගිල්මේ ඉහත්තාවයි. මෙයද වැවේ පෝෂක කලාපයකි. කිසිදු මිනිස් ක්‍රියාකරකම් සිදු නොකළ යුතුය. ඒවා තහංචි ය! මෙහි ජොල් මඩ සහිත බිමේ කුඩා පඳුරු වර්ග තෘණ වර්ග සහ විශේෂයෙන්ම පන් වර්ග ඇත. එමෙන්ම විශාල ජලාශ්‍රිත ගස් ද පිහිටා ඇත. මෙහි ඇති ශාක වලට හානි කිරීම සිරිත් සම්මත තහංචි ය!

වැවට ගල ගෙන එන ජලය වැවට ඇතුලු වන්නේ වැව් තාවුල්ලෙනි. වැව් තාවුල්ල මඟින් වැවට මඩ පිරී වැව ගොඩ වීම නවත්වයි. මේ නිසා වැවක් හොඳින් රැක බලා ගැනීමේ දී වැව් තවුල්ල ආරක්ෂා කිරීම ප්‍රමුඛස්ථානය ගනී. වැව් තාවුල්ල ට ඉහලින් වැව් ඉහත්තාව පිහිටයි.

ඇළ | ඇළ වේළි

වැවෙන් කුඹුරු වෙත වතුර රැගෙන යාමට යොදාගනී. වෙල් පහු වතුර නැවත වතුර මාර්ගයකට එකතු කිරීමට හෝ වැවකට ගලන්නේ ද ඇළ වේලි දිගේය. පරිසරයේ ස්වාභාවික පිහිටීම වෙනස් නොකර පිහිටි බිමේ හැඩය උපයෝගී කරගනිමින් සාදයි.

මේ ඇළවල් වර්තමානයේ වැව් අසල පවතින දෙපැත්තෙන් කණ්ඩි දෙකක් බැඳ සම තලා බිමක තනන ජලය ගෙන යන මාර්ග නොවේ!!

සංහිඳ | පනම් බැඳි ගස්

වැව බාර දෙවි වරු (මේ දෙවිවරු යනු ඉංගිරිසි God නොවේ!! ) සඳහා පුද පූජෝපහාර බාරහාර කන්නලවු සිදුකරන්නේ මේ ස්ථානයේ දීය. වනස්පතියකි. බොහෝ වෙලාවට හොරොව්ව ආසන්නයේ දැක ගත හැක. කුඹුක් වීර නුග පලු කෝං ගසක් මේ සඳහා තෝරා ගනී. 

වාං ඇළ

වැවෙන් පිටවාන දිගේ ගලන් දියවර වෙනත් වැවකට රැගෙන යන්නේ වාං ඇළ දිගේ ය. මෙහි ජලය වේගයෙන් ගලයි. එම නිසා ඒ ජලය කෙත් වතු අස්වැද්දීමට යොදා නොගනී.

ගමේ දේවාලය | වැවේ දේවාලය | වැවේ සංහිඳ

වැව තැනවූ මුතුන් මිත්තන් සිහිකිරීමත් ඒ මිය ගිය මුතුන් මිත්තන් දේවාත්මයේ (ඉංගිරිසි හෝ හින්දු දෙවි සංකල්පය නොවේ) ලා පුද පූජා කිරීමත් දේවාලයේ දී සිදු වේ. වැව් තැනූ උතුමන් ට  කරන සම්ප්‍රදායික සංස්කෘතිකමය කෘතගුණ සැලකීම කි. වැව් තැනූ උත්තමයන් (දෙවියන්) වැවේ පිහිටෙන් ජීවත්වන ජනයා හට ත් පිහිට ඉල්ලා – වැව් නඩත්තුවට ගොඩ මඩ ගොවිතැනට ගමේ ආරස්සාවට උපකාර කරන මෙන් – ආශිර්වාද බලාපොරොත්තු වේ. 

මෙය කෝවිලක් නොවේ. සංස්කෘතික ආක්‍රමණිකයන්ගේ ඉතා සුක්ෂම උප්පරවැට්ටි වලින් වර්තමානයේ කිසිදු විමසීමකින් තොරව මේ දේවාල සමහරක් එහි සැබෑ අරමුණෙන් බැහැර කොට හින්දු ඉස්ලාම් කිතුනුආගම් වල ආකාරයේ දෙවියන් යදින තැන් බවටම පත් කර ඇත.

ඇළ | ඇළ වේළි

වැවෙන් කුඹුරු වෙත වතුර රැගෙන යාමට යොදාගනී. වෙල් පහු වතුර නැවත වතුර මාර්ගයකට එකතු කිරීමට හෝ වැවකට ගලන්නේ ද ඇළ වේලි දිගේය. පරිසරයේ ස්වාභාවික පිහිටීම වෙනස් නොකර පිහිටි බිමේ හැඩය උපයෝගී කරගනිමින් සාදයි.

මේ ඇළවල් වර්තමානයේ වැව් අසල පවතින දෙපැත්තෙන් කණ්ඩි දෙකක් බැඳ සම තලා බිමක තනන ජලය ගෙන යන මාර්ග නොවේ!!

කළිඟු බැම්ම

විශාල වැව් වල වැව් බැම්මට ලම්බකව සාදා ඇති බැමි ය. මේවා පිට වානට කලින් පිහිටා ඇත.

වැඩ ඉනාමලුව

ගලින් නෙලූ දේව රූප ඇත. දේවාල භූමියකි. වෑ කණ්ඩියේ ස්ථානගත කර ඇත.

ගිල්ම

වැවේ දියවර රැඳෙන සීමාව. වැවේ ජල කඳේ වපසරිය.

දිය කැට පහණ
වැවේ දියවර මණින්නට යොදා ගන්න මැණුම් කලප්පන්නයකි. හරහට කට්ටා යෙදූ ගල් ඉන්නක් හෝ ලී කණුවක් මේ සඳහා යොදා ගනී.

රළපනාව

විශාල හතරැස් කලු ගල් කුට්ටි වැව් බැම්මේ ආනතාකාරව අඩුක්කර ඇත. මේ කලු ගල් කුට්ටි වැවේ ජල කඳ වැව් බැම්මේ වැදී වැව් බැම්ම හේදී යාම අවම කරවයි.

සොරොව් | හොරොව්

වැව් බැම්මේ තෝරාගත් ස්ථානයක ස්ථාපිත කොට ඇත. වැවේ රඳවා ඇති ජලය කෙත් වතු වලට රැගෙන යාමට හොරොව් යොදා ගනී.

මඩ හොරොව්
වැවේ පතුල් මට්ටමේ පිහිටා ඇත. වැව් ඉහීමේදී නැත්නම් හිස්කිරීමේ දී මෙය භාවිතා වේ. මඩ හොරොව්ව පිහිටා ඇති තැන නිසා ඉතා ඉක්මනින් මඩෙන් පිරී යයි.

ගොඩ හොරොවුව

වැව ජලයෙන් පිරී ඇති විට කෙත් වතු කරා ජයල රැගෙන යාමට පාවිච්චි කරයි. හොරොව් නිර්මාණය ඉතා ම සුවිශේෂී තාක්ෂණයකි.

වැවේ විශාලත්වය අනුව ගොඩ හොරොව් අකාර දෙකකි.

කොට හොරොව්
ප්‍රමාණයෙන් කුඩොස් වැව් වල කොට හොරොව් නිර්මාණය කරයි.

බිසෝ කොටුව

විශාල වැව් වලින් කෙත් වතු කරා  ජලය රැගෙන යාමට බිසෝ කොටුව භාවිත කරයි. මෙය සිංහළ දියාලුවන්ගේ තවත් එක විශ්මිත නිර්මාණයකි.

ඇතුලු වාන 

වැවකින් වැවකට ජලය සම්පාදනය කිරීමේදී වතුර ගලාගෙන එන ඇළ වතුර ලබාගන්නා ඇළ ට සම්බන්ධ කරන්නේ ඇතුලු වාන මඟිනි.

පිට වාන

වැවේ වැඩි වතුර බැහැර වෙන ස්ථානයයි. වැව් බැම්මේ පිහිටා ඇත. වැවේ ධාරිතාවය අනුව පිට වාං කීපයක් තිබිය හැක.

කට්ටකාඩුව

වැව් බැම්මෙන් පහතට වන්නට පිහිටා ඇත. මෙමගින් වැව් ජලයේ ලවණතාවය අඩු කරයි. වැව් බැම්මෙන් කාන්දුවන ජලය භූගත ජලයට එකතු වීමට පෙර හෝ ජලය යාබද වෙල් යායට ගලා යාමට පෙර පෙරීම සිදුවේ. ශාක වර්ග යොදාගෙන ස්වාභාවිකවම සිදුවන ක්‍රියාවලියකි. සම්ප්‍රදායානුකූලව කට්ටකාඩුවේ ගොවිතැන් කරන්නේ නැත! 

රිදී බැඳිල්ල
වැවකට වතුර හරවන විට භෞතික හානි අවම වන පරිදි, ගලන වතුර පාර ආසන්නයෙන්ම, බැමි නොබැඳ, වතුර හරවන ආකාරයි. මෑත කාලයේ වැව් පිළිසකර කිරීමේදී කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නැතුව හරහට කොන්ක්‍රීට් බැමි බැඳ වතුර ලබා ගන්නා ආකාරය දැකිය හැක..

අධික වැසි දිනයක කලා වැව වාං දමන අයුරු
ඈතින් දිස්වන්නේ පිට වානයි

මංකඩ

වැව සමඟ කරන්නං වාලේ යන්නං වාලේ ගණු දෙණු නොකෙරේ. වැව සම්බන්ධ සියලූම කටයුතු වලට විධිමත් ක්‍රමයක් ඇත. වැවට බසින ස්ථානය මංකඩයි. බීමට ජලය ලබා ගැනීම, හරකුන් වැවට බස්සන තැන, ස්නානය, රෙදි අපුල්ලන තැන ආදී විවිධ ක්‍රියාකාරකම් වලට වෙන වෙනම මංකඩවල් තිබේ.

දිය මංකඩ

පානය සඳහා වතුර ලබාගන්නට වැවට බසින තැන දිය මංකඩ ය.

නාන මංකඩ

ස්නානය සඳහා නාන මංකඩ යොදා ගනී. කාන්තාවන් නාන මංකඩ ගෑණු මංකඩ ලෙසත් පිරිමින් සඳහා පිරිමි මංකඩ කුත් වෙන වෙනම පිහිටා ඇත.